Prisma || නවීන ලෝකයට සාම්ප්‍රදායික ආකෘතියේ Smart-Watch


ස්මාට්ෆෝන් නිර්මාණ සැලසුම් ලෝකයේ නවතම ආකර්ෂණය කුමක්ද කියා ඇසුවහොත් ඊට දිය හැකි පිළිතුර වන්නේ අත් ඔරලෝසු යන්නයි. සැබවින්ම මේවා සාමාන්‍ය අත් ඔරලෝසු නොව, අත් ඔරලෝසු තුළ සංයුක්ත වූ ස්මාට්ෆෝන්, නැතිනම් smart-watch වෙයි. මෙම උමතුව තවත් වැඩිවූයේ ඉදිරි මාසයේදී වෙළෙඳ පොළට නිකුත්වීමට නියමිත Samsung Gear සම්බන්ධ තොරතු‍රැ නිල වශයෙන් ප්‍රකාශවීමත් සමගිනි.
කෙසේ වුවත් මේ සෑම smart-watch නිර්මාණ සැලසුමක් තුළම දැකිය හැක්කේ බැලූ බැල්මට පෙනෙන අධි තාක්ෂණික හැඩතල සහ නිමාවයි. සාමාන්‍ය සාම්ප්‍රදායික අත් ඔරලෝසුවක සැලසුමක්ම ඥානවන්ත ඔරලෝසුවක් බවට පත්කරන්නට නොහැකිද?
මෙයට පිළිතුරක් ලෙස 80 දශකයේ ස්ටීව් ජොබ්ස් පැලඳි ආකාරයේ අත් ඔරලෝසු සැකැස්මක් smart-watch එකක් බවට පරිවර්තනය කළ හැකි බව පවසන්නේ නිර්මාණ සැලසුම් ශිල්පී Stephen Olmstead විසිනි. Apple iWatch සංකල්පය මත පදනම් වෙමින් ඔහු කළ මෙම නිර්මාණය කාන්තා පාර්ශ්වයටද වඩාත් ගැළපෙන බව පැවසෙයි.
මෙහි සාම්ප්‍රදායික අත්ඔරලෝසුවක ආකාරයේ රවුම් මුහුණතක් පිහිටා තිබෙන අතර, එය Touchscreen එකක් ලෙස ක්‍රියා කිරීමට තරම් ප්‍රමාණවත්ද යන ගැටලුව පවා මතුවෙයි. කෙසේ වුවත් මෙහි සැලසුම් අධ්‍යයනය කිරීමේදී පෙනී යන්නේ, මෙහි ප්‍රධානතම සහ ප්‍රයෝජනවත්ම App එක වන්නේ Apple Siri බවයි. එනම් සම්පූර්ණයෙන්ම පාහේ ඔබගේ කටහඬින් දෙන විධාන ඇසුරින් මෙහි ඇති ස්මාට් විශේෂාංග හැසිරවීමේ හැකියාව ලැබෙනු ඇත.
මෙම Apple iWatch සංකල්පය සමගින් smart-watch සැලසුම් කිහිපයක්ම නිමවා ඇති අතර, ඒ හැම එකක්ම ධාවනය වන්නේ iOS 7 මගිනි. එසේම Bluetooth හෝ Adhoc ජාලයක් මගින් විවිධ iOS host devices සමගින් සම්බන්ධ වීමේ හැකියාවද මීට ලබාදිය හැකි බව නිර්මාණ ශිල්පියාගේ මතය වන අතර, ඒ අනුව Touchscreen එක පවා අඩුවෙන් භාවිත වන, සාම්ප්‍රදායික පාලන බොත්තම් අවම, මිනිස් කටහඬින් දෙන විධාන ඔස්සේ ක්‍රියාත්මක වෙමින් ඔබගේ සියලුම ස්මාට් උපකරණ එකට එක්තැන් කරන ස්මාට් හබ් එකක් ලෙසින්ද ක්‍රියාත්මක විය හැකි ස්මාට්ෆෝන් එකක්, නැතිනම් smart-watch එකක් සඳහා මෙය උදාහරණයක් වේවි.